A

Sunday, February 21, 2010






ඒ මීට වසර 20 කට පෙර දිනකි. හරියටම කියන්නේ නම් ඒ 1990 පෙබරවාරි මස 18 දිනයි. ඔහුගේ ලියන මේසය මත ගෝතමාලානු මහා කවියකු හා විප්ලවවාදියකු වූ ඔටෝ රෙනෝ කැස්ටිලෝගේApolitical Intelectuals (අදේශපාලනික බුද්ධිමතුන්) නම් කවිය විය. ඔහුගේ ඒ ප‍්‍රියතම කවිය සිංහල භාෂාවට පරිවර්තනය කිරීම ඔහු අරඹා තිබුණා පමණි. එය අවසන් කර නොතිබිණි.

අදේශපාලනික බුද්ධිමතුනි
යම් දිනෙක,
මගේ රටේ වෙසෙන,
එදාවේල යාන්තමින් දිවි ගැට ගහගන්නා
සාමාන්‍ය මිනිසුන් පැමිණ ඔබව ප‍්‍රශ්න කරාවි.....
මගේ රට
සෙමෙන් ඇවිළෙන
ගිනි දලූවක් සේ
බිඳෙන් බිඳ මියැදෙන අතර
ඔබකළේ කුමක්දැයි
ඔවුන් ඔබෙන් විමසාවි........
ඒ කවියේ දළ අර්ථය වූයේ එයයි. ඒ කවිය ලියූ ඔටෝ රෙනෝ කැස්ටිලෝ සමාජවාදී සමාජයක් වෙනුවෙන් ගෝතමාලාවේ කඳුකර බිම්වල ගරිල්ලා සටනේ නිරතවී 1967 දී සතුරන් අතින් මැරුම් කෑවේය. ඒ 1967 මාර්තු මාසයේදීය. ඊට වසර 23 කට පසුව එළඹි පෙබරවාරියේදී කැස්ටලෝගේ කවියට පෙම්බැඳි තවත් කලාකරුවකු, මාධ්‍යවේදියකු, මානවහිතවාදියකු, කැන්ටලෝගේ රටට කිලෝමීටර් දසදහස් ගණනක් දුරින් පිහිටි ශ‍්‍රී ලංකාවේදී සමාන්තර ඉරණමකට ගොදුරුවන බව ලෝකයා දැනසිටියේ නැත. ඔටෝ රෙනෝ කැස්ටිලෝ සතුරු හමුදා ග‍්‍රහණයට පසුව දින හතරක් පුරා දසවධදී පුලූස්සා මරා දමනු ලැබීය. එලෙසම රිචඞ් ද සොයිසා නම් ශ‍්‍රී ලාංකීය මාධ්‍යවේදියා සහ කලාකරුවා නාඳුනන තුවක්කුකරුවන් ලෙස හඳුන්වනු ලැබූ රාජ්‍ය අනුග‍්‍රහය ලත් නොනිල සන්නද්ධ කල්ලියක් අතින් ඝාතනයට ලක්විය.
රිචඞ් ද සොයිසා උපත ලැබුවේ කොළඹදීය. ඔහුගේ පියා සිංහල ජාතිකයකු වූ අතර මව දෙමළ ජාතික වෛද්‍යවරියකි. පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව ඔහු ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයට හා කලා ක්ෂේත‍්‍රයට අවතීර්ණ විය. එහු ඒ ක්ෂේත‍්‍ර තුළ නොමැකෙන මතක සටහන් ස්ථාපිත කළේය. එක් පැත්තකින් රිචඞ් ඉංග‍්‍රීසි වේදිකා නාට්‍ය නළුවෙකි. ලයනල් වෙන්ඞ් වේදිකාව මත ඔහ සම්භාව්‍ය ඉංග‍්‍රීසි නාට්‍යකලාවේ නව මානයන් සනිටුහන් කළේය. එපමණක් නොව ඔහු කවියෙක් හා ලේඛකයෙක් විය. විදේශීය රුඩිකල් කවීන්ගේත්,ප‍්‍රගතිශීලි ලේඛකයන්ගේත් බොහෝ කවි හා ලේඛන ඔහු අතින් සිංහල භාෂාවට පබරිවර්තනය විය. එමෙන්ම ඔහු සති අන්ත ඉංග‍්‍රීසි පුවත්පත්වලට කවි ලීවේය. මේ අතර ජාතික රූපවාහිනියේ ආරම්භයේ සිටම පාහේ එහි ඉංග‍්‍රීසි ප‍්‍රවෘත්ති නිවේදයකු ලෙස රිචඞ් කටයුතු කළේය. ඔහු ප‍්‍රවෘත්ති ඉදිරිපත් කළ චතුර උච්චාරණ ශෛලියත්, ඔහුගේ නිදහස් අංග බලන ශෛලියත් අදත් බොහෝ දෙනෙකුට අමතවී නැත.
ඉංග‍්‍රීසි වේදිකා නාට්‍ය රසිකයන්, රූපවාහිනී ඉංග‍්‍රීසි ප‍්‍රවෘත්ති පේ‍්‍රක්ෂකයන් වැනි එක්තරා ස්ථාවරයක් පමණක් දැන සිටි රිචඞ් ද සොයිසා මෙරට සාමාන්‍ය ජනතාව අතරට පිවිසියේ සිංහල චිත‍්‍රපටයක රඟපෑමට ඔහු තීරණය කිරීමත් සමගය. 1983 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියා, මහගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහයන්ගේ තුන් ඈඳුතු නවකතාවේ අවසන් කොටස වන යුගාන්තයසිනමාවට නැංවීය. යුගාන්තයේ තේමාව වී ඇත්තේ ලාංකීය ධනපති පන්තියේ ප‍්‍රථමයන්ගේ දරුවන්, විදේශගතව අධ්‍යාපනය ලබා, මෙරටට පැමිණ වාමාංශික දේශපාලනය ආරම්භ කිරීමයි. ඒ අනුව නිර්දය ලෙස පීඩිතයන් සූරාකන ධනපතියා වන සවිමන් කබලානගේ චරිතය ප‍්‍රවීණ රංගන ශිල්පී ගාමිනී ෆොන්සේකා විසින් නිරූපණය කළ අතර ඔහුගේ රැුඩිකල් පුත‍්‍රයා වන මාලින්ගේ චරිතය නිරූපණය කළේ රිචඞ් ද සොයිසාය. වාමංශික අදහස් දරන පියාගේ සූරාකෑමට ලක්වූවන් වෙනුවෙන් සටන් කරන, වෘත්තීය සමිති නිර්මාණය කරන මාලින්ගේ චරිතය සිය විශ්වාසයන්ට හා අපේක්ෂාවන්ට බොහෝ සමීප බව පසුව රිචඞ් පවසා තිබිණි.
1983 න් පසුව ලංකාවේ ඉතිහාසය වෙනස් මඟක් ගත්තේය. ඒකාධිපති ජේ. ආර්. ආණ්ඩුව වාමාංශික දේශපාලන පක්ෂ තහනම් කළේය. කම්කරු, ගොවි, ශිෂ්‍ය ව්‍යාපාරයන්ට එරෙහි මර්දනය ඇරඹුවේය.1987 දී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමත් සමග මේ තත්ත්වය තවත් උත්සන්න විය. නැගී එන ජනතා විරෝධය පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මුහුණ දුන්නේ මර්දනයෙනි. අතිශය සංවේදි කලාකරුවකු හා රැුඩිකල් ලක්ෂණ සහිත මානව හිතවාදියකු වූ රිචඞ් තත්වය හමුවේ නිහඬව සිටීමට කැමැති වූයේ නැත. එම නිහඬතාවය යම් දිනෙක රටේ පොදු ජනතාව විසින් ප‍්‍රශ්න කරන බව ඔහු විශ්වාස කළේය. 1967 දී ගෝතමාලාවේ වනාන්තරයක මරණය වැලඳගත් කැස්ටිලෝ පැවැසූ අදහස ඔහුගේ සිතේ කා වැදී තිබිණි. ඒ නිසා ඔහු නිහඬවීමේ මාවත වෙනුවට ක‍්‍රියාකාරීවීමේ මාවත තෝරා ගත්තේය. ඔහු අක‍්‍රීයවීම වෙනුවට සටන් වැදීම තෝරාගත්තේය.
ඒ අනුව රිචඞ් ක‍්‍රමානුකූලව ප‍්‍රගතිශීලි, වාමාංශික දේශපාලනය වෙත නැඹුරු විය. ඔහු රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් ලිවීම ඇරඹුවේය. කලා කෘති නිර්මාණය කිරීම ඇරඹුවේය. මාධ්‍යවේදියකු හා කලාකරුවකු ලෙස පමණක් දක්වන දායකත්වය ප‍්‍රමාණවත් නොවන බව දුටු රිචඞ් මානව හිමිකම් ක‍්‍රියාධරයකු ලෙස සටනට පිවිසියේය. ඔහු වධ හිංසාවන්ට ගොදුරු වූවන් සොයා ගියේය. අතුරුදන් කරනු ලැබූවන්ගේ ඥාතීන් සොයා ගියේය. ඒකාධිපතිත්වය විසින් විවිධාකාර තර්ජන එල්ල වන තත්වයක් යටතේදීත් ශ‍්‍රී ලංකාවේ සිදුකෙරෙන මර්දනය ගැන ලෝකය දැනුවත් කළේය. විදෙස් මාධ්‍ය මේ ජනසංහාරය ගැන බොහෝ දෑ දැනගත්තේ ඔහුගෙනි. 1989 අගභාගය වන විට ජීවිත හැට දහසක් පමණ බිලිගත් බියකරු මර්දනය ලෝකයට පැවැසීමේ හඬ වූයේ රිචඞ්ය. ඒ නිසා පාලකයන්ගේත් ඔවුන්ගේ අනුග‍්‍රහය ලැබූ සන්නද්ධ මැරකල්ලිවලත් වෛරය ඔහු වෙත යොමු විය.
1990 පෙබරවාරි 18 වැනිදා අලූයම සිය මව වන මනෝරානී සරවනමුත්තු මහත්මිය සමග රිචඞ් විසූ නිවසට කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායමක් රිචඞ් ද සොයිසා පැහැරගෙන ගියේය. ඔහු ගෙන යෑම පිළිබඳ කිසිදු පැහැදැළි කිරීමක් කර තිබුණේ නැත. රිචඞ්ගේ මව බියට පත්වි වහාම වැලිකඩ පොලිසියට ගොස් මේ ගැන පැමිණිල්ලක් කළාය. එහෙත් කිසිදු තොරතුරක් නොවීය. 1990 පෙබරවාරි 19 දා උදෑසන මොරටුව මුහුදු වෙරළට සිරුරක් ගොඩගසා තිබිණි. ඒ සිරුර රිචඞ් ද සොයිසාගේය. ඔහුගේ හිසට හා බෙල්ලට වෙඩි තබා තිබූ අතර අතක් බිඳ දමා තිබිණි.
රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් පෙනී සිටි වරදට, මේ සමාජ ක‍්‍රමය වෙනස් කළ යුතු යැයි පැවැසූ වරදට ප‍්‍රවීණ මාධ්‍යවේදියකු, කලාකරුවකු හා ජනමාධ්‍යවේදියකු දැයෙන් උදුරාගැනීමට පාලකයන් කටයුතු කර තිබිණි. රිචඞ් මරා දැමූ දිනවලම ඔහුගේ මව පවසා සිටියේ රිචඞ් පැහැර ගැනීමට පැමිණි අය අතරින් දෙදෙනෙකු හඳුනාගත හැකි බවය. නමුත් පොලිසිය සැකකරුවන් කිසිවෙකු හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට අසමත් විය. මාස තුනකට පසුව මනෝරානී සරවනමුත්තු මහත්මිය රූපවාහිනී නරඹමින් සිටියදී සිය පුත‍්‍රයා පැහැර ගැනීමට පැමිණි පිරිසෙන් එක් අයකු රූපවාහිනී දර්ශනයක දුටුවාය. පසුව ඇය ඒ පිළිබඳව සිය නීතිඥයා හරහා පොලිසියට හා අධිකරණයට දැන්වූවාය. ඉන් පසුව ඇයටත් නීතිඥයන්ටත් මරණ තර්ජන එල්ල විය. රූපවාහිනියේ පෙනී සිටි පුද්ගලයා පොලිසියේ ඉහලම නිලධාරියෙකි. නමුත් ඔහුට එරෙහිව කිසිදු පියවරක් ගනු ලැබුවේ නැත. පැමිණිල්ල ඉවත විසිකෙරිණි. මානවහිමිකම් ක‍්‍රියාකාරිනියක බවට පත්වී අතුරුදන් වූවන් වෙනුවෙන් කටයුතු කිරීම ඇරඹූ රිචඞ්ගේ මව වන වෛද්‍ය මනෝරානී සරවනමුත්තු මහත්මිය 2004 දී මියගියාය.
රිචඞ්ගේ මරණයට වගකිවයුත්තන් ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලද රංචාගොඩ, දේවසුරේන්ද්‍ර හා සරත්චන්ද්‍ර යන පොලිස් නිලධාරීන් සාක්ෂි නැතිවීම නිසා 2005 දී නිදහස් විය. රිචඞ් ද සොයිසා මරා දැමුවේ කවුරුන්දැයි මුළු රටම දැන සිටියත් වරදකරුවකු නැතිව එම සිදුවීම කාලයේ වැලිතලාවට යටවිය. එහෙත් රිචඞ් ද සොයිසාගේ නාමය එලෙස යටපත් කළ නොහැකිය. රූපවාහිනී නිවේදකයෙකු ලෙසද,කලාකරුවකු ලෙසද තමන්ට සමීප වූ මේ තරුණයා පිළිබඳ මතකය ශ‍්‍රී ලාංකිකයන් කෙරෙන් ගිලිහී ගොස් නැත.
අද රිචඞ්ගේ මරණයෙන් විසිවසරකට පසුව යළිත් ඒකාධිපති, මර්දනකාරී පාලනයක ලකුණු විද්‍යාමාන වෙමින් පවතී. අදත් සිය නිදහස් අදහස් ලියන මාධ්‍යවේදීන් වෙත මර්දනයේ හස්තය දිගුවෙමින් තිබේ. මේ ඔහු වැනි නිර්භීත ජනමාධ්‍යවේදීන්, මානව හිතවාදීන් සිය ගණනක් අවශ්‍ය මොහොතකි. අප රිචඞ් සිහිපත් කරන්නේ ඒ අවශ්‍යතාවය සැපිරීම පිළිබඳ අධිෂ්ඨානය හා අපේක්ෂාවද සිත්හි දරාගෙනය. මේ බියකරු ඉරණම ඉදිරිපිට නිහඬව සිටින හැමදෙනාටම අපට පැවැසිය හැක්කේ රිචඞ් වඩාත් ප‍්‍රියකළ කැස්ටිලෝගේ කවියේ මේ අවසන් කොටසයි.
පීඩිතයන්
දුකින් පෙළෙන විට
ඔවුන්ගෙ ජීවිත
කෙමෙන් දැවෙන විට
ඔබ කළේ මොනවාද?”
මගේ ආදරණීය මවුබිමේ
අදේශපාලනික බුද්ධිමතුනි
ඔබට ඊට පිළිතුරු නැත
නිහඬත්වයේ ගිජු ළිහිණියන්
ඔබේ ධෛර්යය ගිල ගනු ඇත.
ඔබේම කාලකන්නිකම
ඔබේම ආත්මය වනසනු ඇත
ලැජ්ජාවෙන් ඔබ ගොළුවනු ඇත.......
මගේ රටේ
අදේශපාලනික බුද්ධිමතු

උපුටා ගැනිම lankatruth web අඩවියෙනි

0 comments:


Blogger Templates by Isnaini Dot Com. Powered by Blogger and Supported by Lincah.Com - Nissan Cars